ප්‍රධාන පුවත්

22 වැනි සංශෝධනය ගැන සජිත්ගෙන් දැඩි චෝදනාවක්

22 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන දරුණු ව්‍යවසනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේ පැවැති “Rhythm of the Night” අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ‘දිට්වා’ සුළි කුණාටුව මෙන්ම බරපතළ ව්‍යවසනයක් ලෙස තමන් දකින බවයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 100ක් සඳහා නිවාස ඉදිකරදීමේ අරමුණින් මෙම අරමුදල් රැස්කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා චෝදනා කළේ, යෝජිත සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන අඩපණ කිරීමට උත්සාහ කරන බවයි.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කර එය විධායකයේ පාලනයට යටත් කිරීමටත්, ඒ හරහා ඒක පක්ෂ ආඥාදායක පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමටත් උත්සාහයක් පවතින බවට ඔහු චෝදනා කළේය.

එමෙන්ම, ජනතාවගේ දේශපාලන හා සමාජීය නිදහස ආරක්ෂා කරගැනීම සඳහා එවැනි පාලන ක්‍රමයකට එරෙහි විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මේ අතර, වත්මන් ආපදා කළමනාකරණ ක්‍රමවේදය යල්පැන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ජල විදුලි ජනනය ඇතුළු ක්ෂේත්‍රවලට ඇතිවිය හැකි බරපතළ බලපෑම් අවම කරගැනීම සඳහා නව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

සුනාමි ව්‍යවසනය සහ ‘දිට්වා’ ව්‍යවසනයෙන් පාඩම් ඉගෙන ගනිමින් පූර්ව ආපදා සැලසුම් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධාන වගකීමක් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button