ප්‍රධාන පුවත්

රුපියල් බිලියන 4ක මූල්‍ය වංචාවක්: සමාගම් අධ්‍යක්ෂවරු දෙදෙනා රිමාන්ඩ්

රුපියල් බිලියන 4ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ලබන දෙසැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

රුපියල් බිලියන 4ක මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි 80ක්

ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී ඔවුන්ගෙන් මුදල් එකතු කර එම මුදල් වංචා කළ බවට එල්ල වී ඇති චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අදාළ සමාගම්වල අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි 80ක් ලැබී ඇති බවද වාර්තා වේ.

මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පවත්වාගෙන ගොස් ඇති මෙම පෞද්ගලික සමාගම් දෙක විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන මූල්‍ය වංචාවේ මුළු වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොටිතුවක්කු මහතාගේ, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් හා නියෝග මත ක්‍රියාත්මක කරනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button