
GMOA ඉල්ලීම් ඉටු නොවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් සඳුදා
GMOA ඉල්ලීම් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සියලුම ශාඛා සමිති ලබන සඳුදා (23) රැස්වීමට නියමිතය.
GMOA ඉල්ලීම් ඉටු නොවීම ගැන වෛද්‍ය ශාඛා සමිති රැස්වෙයි
එම රැස්වීම දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එම කාලය තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව සංගමය සඳහන් කරයි.
ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ බලය සංගමයේ විධායක සභාව වෙත පවරා ඇති බවද එම සංගමය ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ වෛද්‍යවරුන්ට හිමිවිය යුතු දීමනාවලින් සැලකිය යුතු කොටසක් අත්හැරීම හරහා රුපියල් ලක්ෂ 44,000කට අධික මුදලක් රටට සහ රජයට ඉතිරි කර දීමට කටයුතු කළ බවයි.
එසේ වුවද වෘත්තීයවේදීන් ලෙස වෛද්‍යවරුන් මුහුණ දෙන ආර්ථික අසාධාරණය සඳහා මෙවර අයවැයෙන් සාධාරණ සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ බවද GMOA පෙන්වා දෙයි.
එහෙත් නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළ අයවැය මගින් වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් කිසිවකට ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවත්, ඒ හේතුවෙන් දිවයින පුරා වෛද්‍ය ප්‍රජාව අතර දැඩි නොසතුටක් මතුව ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 19 වැනිදා සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක්ද පවත්වා තිබේ. එහිදී වෛද්‍ය ප්‍රජාව වෙනුවෙන් ප්‍රධාන ඉල්ලීම් පහක් අයවැය හරහා ඉටු කර ගැනීමට යෝජනා කර ඇත.
එම ඉල්ලීම් අතර,
- 2018 වසරේදී අනුමත කරන ලද සමස්ත DAT දීමනාව කඩිනමින් ලබාදීම.
- DAT දීමනාව සහ අමතර රාජකාරි හා නිවාඩු දින දීමනා බදුවලින් නිදහස් කිරීම.
- වසර දෙකක කාලයක් අත්හිටුවා ඇති අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක කොටසක් නැවත ගෙවීම.
- 22/99 චක්‍රලේඛයට අනුව සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරුන් ප්‍රවාහන පහසුකම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම.
- වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
යන කරුණු ඇතුළත් වේ.
මීට අමතරව, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ඉදිරි සතිය තුළදී අපේක්ෂා කරන බවද GMOA සඳහන් කරයි.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වෛද්‍යවරුන් ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි අවධානය යොමු කර සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තම සංගමය අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



