
අද කාලගුණය: ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
අද කාලගුණය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (20) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද සඳහන් වේ.
මේ අතර දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලට අමතරව රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



