
15ක් වරදකරු කල පාස්කු ප්‍රහාර නඩුවේ මෙතෙක් කතාව
පාස්කු ප්‍රහාර නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) තීන්දු කළේය.
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.
ප්‍රහාරය ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනක් සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඉලක්ක කරමින් එල්ල විය. ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකු විසින් එම ප්‍රහාර මාලාව දියත් කර තිබුණි.
ප්‍රහාරයෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණි.
නීතිපතිවරයා විසින් නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නඩු පවරා තිබූ අතර, එම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබුණි.
වසර කිහිපයක් පුරා පැවති සාක්ෂි විභාගය පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් වූ අතර, ඒ අනුව නඩුවේ අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර තීරණය කර තිබුණි.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත එම මහාධිකරණ මඩුල්ල හමුවේ අද පෙරවරු 11.30ට පමණ තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ විය.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් නිල සුනඛයින්, ජංගම CCTV රථයක් සහ ගිලන් රථද එහි ස්ථානගත කර තිබුණි.
පාස්කු නඩුවේ විත්තිකරුවන් වන නවුෆර් මවුලවී ඇතුළු පිරිසද අද පෙරවරුවේ අධිකරණයට රැගෙන එනු ලැබූ අතර, කතෝලික සභාවේ පියතුමන් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විශාල නඩු තීන්දුවක වැදගත්ම කරුණු පමණක් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරන බවය.
විත්තිකරුවන්ට එරෙහිව පිටු 8,900කින් සහ වෙළුම් 9කින් සමන්විත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවද විනිසුරුවරයා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම, අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අදාළ වගන්ති යටතේ විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබූ බවද අධිකරණය හමුවේ අනාවරණය විය.
පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදී දේශන පැවැත්වීම, අවි ආයුධ පුහුණුව සඳහා වැඩමුළු පැවැත්වීම සහ ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණුද අධිකරණය විසින් සලකා බැලීය.
එහිදී සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළේය.
”කුමන්ත්‍රණයට සම්බන්ධ අය එක එක තැන්වල පේළි ගැසී සිටිය යුතුයි කියලා දෙයක් නැහැ. කුමන්ත්‍රණය, එකඟවීම, කෙලින්ම හෝ ව්‍යංගයෙන් වෙන්න පුළුවන්. මුලදී සම්බන්ධ වූ අය, අතරමැදිව සම්බන්ධ වූ අය වගේම අවසානයට සම්බන්ධ වූ අයත් කුමන්ත්රණයේ පාර්ශ්වකරුවන් වෙන්න පුළුවන්”
ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ විත්තිවාචිකද සලකා බැලූ බව විනිසුරුවරයා සඳහන් කළේය.
පළමු විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවී, දෙවන විත්තිකරු වන ගෆූර් මාමා, තෙවන විත්තිකරු වන හයාතු මොහොම්මදු මිල්හාන්, සිව්වන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ පස්වන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු ඉදිරිපත් කළ විත්තිවාචික අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අනෙක් විත්තිකරුවන් 9 දෙනා ඉදිරිපත් කළ විත්තිවාචික පිළිගැනීමට අධිකරණය තීරණය කර ඇත.
අවසාන නිගමනය ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා මෙසේ ප්‍රකාශ කළේය.
”සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු විනිසුරුවරුන් තිදෙනාගේම ඒකමතික තීන්දුවක් ලෙස මෙම නිගමනවලට එළැඹ තිබෙනවා. ඒ අනුව මෙම නඩුවේ පළමු, දෙවන, තෙවන,සිව්වන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකොළොස්වන, පහළොස්වන, දහසයවන, දාහත්වන සහ දහඅටවන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඉදිරිපත් කර ඇති බවට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරනු ලබනවා.
කෙසේවෙතත් දොළොස්වන, දහතුන්වන, දාහතරවන, විසිවන, විසිඑක්වන, විසිදෙවන, විසි තුන්වන, විසි හතරවන සහ විසිපස්වන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කරනු ලබනවා”



