උණුසුම් පුවත්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් සම්මත කළ හැකියි

කෙසේ වෙතත්, යෝජිත සංශෝධන කිහිපයකට යටත්ව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

මේ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව, සංශෝධන කිහිපයක් සිදුකිරීමේ කොන්දේසිය මත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යාමට හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පැහැදිලි වේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහි නීතිමය පසුබිම පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය ප්‍රකාරව අදාළ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබූ බව කථානායකවරයා සඳහන් කළේය.

වැඩබලන නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද අතිරේක සංශෝධන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු බවට අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව, වැඩබලන නීතිපතිවරයා ලබාදුන් එකඟතාවන්ට අනුව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65 සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතු වේ.

එමෙන්ම, පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉවත් කළ යුතු බවටද නියම කර තිබේ.

තවද, පළමු උපලේඛනයේ සඳහන් 15, 16, 17 සහ 33 යන අයිතම ඉවත් කිරීමට වැඩබලන නීතිපතිවරයා යෝජනා කර තිබූ බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසද කථානායකවරයා නියම කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button