ප්‍රධාන පුවත්

රුපියල් බිලියන 4ක මුදල් වංචාවක් – සමාගම් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් බිලියන 4කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් බිලියන 4ක මුදල් වංචාව ගැන පැමිණිලි 80ක් – සැකකරුවන් අද අධිකරණයට

ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් රැස්කර එම මුදල් වංචා කළ බවට එල්ල වී ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (20) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සමාගම් දෙකේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සිටින අතර, ඉන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි මෙම සමාගම් දෙක හරහා සිදුව ඇති බව කියන සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇති බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොටිතුවක්කු මහතා, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ නියෝග මත මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button