
ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට සැලසුම්
ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව නවීකරණය කර ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
හුදු ප්‍රතිසංස්කරණවලට සීමා නොවී සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අඩුපාඩු විසඳමින් ජනතාවට කාර්යක්ෂම හා ප්‍රමිතිගත සේවාවක් ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් සපයන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරිණි.
රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන් යටතේ “පේෂන්ට් හෙල්ත් ඇප්”, ටෙලි මෙඩිසින් සේවා සහ රෝගී වාර්තා ඕනෑම රෝහලකින් ලබාගත හැකි ජාතික ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් විය.
නවීන තාක්ෂණික පහසුකම් රට පුරා රෝහල් වෙත හඳුන්වා දීමෙන් රජයේ රෝහල් සේවා තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත්, එමඟින් පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා ජනතාවට දැරීමට සිදුවන අධික වියදම් අවම කළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ නතර වී තිබූ සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කර ඇති අතර, මොණරාගල දිස්ත්‍රික් රෝහලේ පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය, ත්‍රිකුණාමලය, අම්පාර සහ හලාවත රෝහල්වල හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක ඇතුළු ව්‍යාපෘති 26ක් ඒ අතර වේ.
මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ ඉදිකිරීම් ව්‍යාපෘති 48ක් සක්‍රීයව ක්‍රියාත්මක වන බවද සඳහන් විය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා “ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන” වැඩසටහන කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම රෝහල් සඳහා ගිලන් රථ ලබා ගැනීමේදී සාමාන්‍ය වාහන වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන නවීන උපකරණ සහිත ගිලන් රථ පමණක් ලබා ගැනීමට අවධානය යොමු කර ඇත.
ඖෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නවීකරණය කිරීම, ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා සමාලෝචනය කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව රජයේ චිත්‍රපට අංශය සංවර්ධනය කිරීම, මාධ්‍යවේදී පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
තවද තැපැල් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.



