උණුසුම් පුවත්

කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු: දේශන සතියක් ඔන්ලයින්

කොළඹ විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගී තත්ත්වයට පත්වූ සිසුන් 71 දෙනෙකු වාර්තා වී ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කරයි.

මෙලෙස රෝගී වූ සිසුන් අතරින් 5 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.

ඩෙංගු ආසාදිත සිසුන්ගෙන් වැඩි පිරිසක් ශාස්ත්‍ර පීඨයට අයත් බැවින්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පීඨ කිහිපයක දේශන සතියක කාලයක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත්, රෝහල්ගතව සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානය යොමුකරන බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගය වැලඳුණු පසු ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීම වැදගත් බැවින් මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට විශ්වවිද්‍යාලය තුළ තත්ත්වය පාලනය කර ඇති බව සඳහන් කළ උපකුලපතිවරයා, උණ රෝගී ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදු නොකරන බවත්, එවැනි සැලසුමක් නොමැති බවත් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button