ප්‍රධාන පුවත්

රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා කුවේට් අරමුදලින් රු. බි. 2.1ක්

රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා කුවේට් අරමුදලින් රු. බිලියන 2.1ක්

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමය වඩාත් ආකර්ෂණීය සහ විධිමත් ආකාරයට සංවර්ධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ආර්ථිකයට විදේශගත ශ්‍රමිකයන් විශාල දායකත්වයක් ලබාදෙන බවයි. මේ වන විට ලක්ෂ 17කට ආසන්න පිරිසක් විදේශ රැකියාවල නිරතව සිටින බවද ඔහු පැවසීය.

2025 වසරේදී ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණද, පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි වී ඇත්තේ ශ්‍රමිකයන් 307 දෙනෙකු පමණක් බවද සඳහන් කළේය.

නව වැඩපිළිවෙළ යටතේ සියලුම විදේශ ශ්‍රමිකයන් සඳහා එකම ක්‍රමවේදයක් වෙනුවට, ඔවුන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම අනුව තෝරාගත හැකි විකල්ප හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව සේවා කාලය අවසන් වූ පසු මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට හෝ කල් පිරීමේදී එකවර මුදලක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

මෙම රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා කුවේට් අරමුදලින් රුපියල් බිලියන 2.1ක මුදලක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වනදාට පෙර සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ප්‍රේෂණ නිවැරදිව වාර්තා කිරීම සඳහා ඩිජිටල් යෙදවුමක් හඳුන්වාදීමටද සැලසුම් කර ඇත.

මෙම යෙදවුම හරහා ශ්‍රමිකයන්ට තමන් එවා ඇති සමස්ත ප්‍රේෂණ පිළිබඳ නිල වාර්තාවක් ලබාගැනීමට හැකි වන අතර, එම දත්ත මත පදනම්ව විශ්‍රාම ප්‍රතිලාභ තීරණය කිරීමට කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

මෙම සුබසාධන වැඩසටහන ශ්‍රමිකයන්ගේ ස්වේච්ඡා කැමැත්ත මත ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය එක්ව එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button