
විශේෂඥ වෛද්‍යවරුන්ට නව සේවා කාණ්ඩයක් – කැබිනට් අනුමැතිය
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, වසර 15ත් 20ත් අතර කාලයක් පුරා පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවක් මෙලෙස ඉටුවීම පිළිබඳව සතුටු වන බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා නව සේවා කාණ්ඩයක්
මෙම පියවර හරහා ජනතාවට වඩාත් ගුණාත්මක සහ වගකීම් සහිත විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබාදීමට හැකිවනු ඇති බව වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම නව සේවා කාණ්ඩය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ජනපතිට සහ සෞඛ්‍ය ඇමතිට ස්තූතිය
අදාළ යෝජනාව පිළිගෙන ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාටත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්තූතිය හිමිවන බව වෛද්‍යවරයා පැවසීය.
අමාත්‍ය මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන් මෙන්ම මුදල්, සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල නිලධාරීන් ලබාදුන් සහයෝගයද අගය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක්
විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා මෙසේ පැවසීය,
”මෙය ඉතාම වැදගත් අවස්ථාවක්. රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට. මෙය අවුරුදු පහළවක, විස්සක ඉල්ලීමක්. මේ අමාත්‍ය මණ්ඩල තීරණය විශේෂඥ වෛද්‍ය සංගමය වන අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. මේ තීරණය මගින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් හා වගකීම සහිත විශේෂඥ සේවයක් ලැබෙන්න පුළුවන්. ඒ වාගේම ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් වෙයි. අපි විසින් ඉදිරිපත් කරපු යෝජනාව පිළිඅරගෙන, ඒ යෝජනාවට අවශ්‍ය නායකත්වය දීපු, අතිගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයාට, අපි ඉතාම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙනවා. එතුමාගේ නායකත්වය, එතුමා ගත්ත තීරණය නිසා තමයි මේක සාර්ථක වුණේ. ඒ වාගේම මේක යථාර්තයක් කරන්න අවශ්‍ය හැම පියවරම ගත්ත සෞඛ්‍ය ඇමතිතුමා නලින්ද ජයතිස්ස ඇමතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේම ඇමති මණ්ඩලයේ සියලු ඇමතිවරු, ඒ වාගේම මුදල්, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් දීපු සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍ය සංගමයේ අපි කියන්න කැමතියි, රජය විසින් ගත්ත මේ තීරණය නිසා, මෙරට සෞඛ්‍ය සේවයට ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. වඩාත් ගුණාත්මක සේවය ඉස්සරහට ලැබිය යුතුයි. ”
රජය ගත් මෙම තීරණය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට වැදගත් පියවරක් වන අතර, ඉදිරියේදී ජනතාවට වඩාත් උසස් හා ගුණාත්මක විශේෂඥ සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



