
විශේෂ ඩෙංගු මර්දන සතිය හෙට (09) සිට – සෞඛ්‍ය කොට්ඨාස 74ක් ආවරණයට
විශේෂ ඩෙංගු මර්දන සතිය හෙට (09) සිට ආරම්භ කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර තිබේ.
විශේෂ ඩෙංගු මර්දන සතිය යටතේ අවදානම් සෞඛ්‍ය කොට්ඨාස 74ක විශේෂ මෙහෙයුම්
ඒ අනුව නොවැම්බර් 09 වැනිදා සිට 14 වැනිදා දක්වා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටද සැලසුම් කර ඇත.
එමෙන්ම හිමිකරුවන් නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිතය.
පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමද මෙම මෙහෙයුමේ තවත් අරමුණකි.
මීට අමතරව දෛනිකව සිදුකරන මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ විවිධ ස්වේච්ඡා සංවිධාන ද මෙම වැඩසටහන සඳහා එක්ව කටයුතු කිරීමට නියමිතය.



