සෞඛ්‍යය

ආයුර්වේද පනත සංශෝධනයට රජයේ අනුමැතිය

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නියාමන කටයුතු විධිමත් කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්‍ර නිකුත් කිරීම පහසු කිරීමේ අරමුණින් ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමට ද නියමිතය.

 

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන වෛද්‍ය ක්‍රම ඇතුළත් වේ. එම ක්ෂේත්‍රය නියාමනය කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සඳහා දැනට පවතින පනතේ විධිවිධාන ක්‍රියාත්මක වේ.

 

මෙම සංශෝධන මඟින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම, නියාමන ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දේශීය ඖෂධ අපනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ඇතුළු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට යෝජනා කර ඇත.

 

එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ද මෙම සංශෝධනවල අරමුණක් ලෙස සඳහන් වේ.

 

මේ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button