
නීතිවිරෝධී යතුරුපැදි 16ක් හෝමාගමදී අත්අඩංගුවට
නීතිවිරෝධී යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16 දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම පොලීසියේ රථවාහන අංශය විසින් අධික ශබ්ද නිකුත් කරමින් සහ අධික වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනය කළ යතුරුපැදි ඉලක්ක කර ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී නීත්‍යානුකූල අනුමැතියකින් තොරව මුල් ආකෘතිය වෙනස් කර සකස් කළ යතුරුපැදි 16ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත. සයිලන්සර් වෙනස් කිරීම, පැති කණ්නාඩි ඉවත් කිරීම, මඩ කවර නොමැති වීම, අංක තහඩු රහිතව ධාවනය කිරීම සහ ආලෝක පද්ධතිය වෙනස් කිරීම වැනි නීතිවිරෝධී වෙනස්කම් එම යතුරුපැදිවල පැවති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භාරයේ තබා ඇති අතර, සැකකරුවන් ඇප මත මුදාහැර ඇත.
ඔවුන් ලබන 22 වනදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.



