ප්‍රධාන පුවත්

වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි – අයවැය ගැන විරෝධයක්

වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ. මෙවර අයවැය මගින් තමන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා ඇති බවට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇත.

වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් අද සහ හෙට සතිඅන්ත රාජකාරිවලින් ඉවතට

ඒ අනුව අද (14) සහ හෙට (15) යන දෙදින තුළ සතිඅන්ත රාජකාරිවලින් ඉවත්ව සිටීමට වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එමෙන්ම ලබන 16 සහ 17 යන දෙදින තුළ සියලුම ඉංජිනේරු සහකාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව එම සංගමයේ ලේකම් එස්. ඒ. ආර්. කේ. සුබසිංහ මහතා සඳහන් කළේය.

අයවැය මගින් දීමනා ලබාදීමේදී තම වෘත්තීය කණ්ඩායමට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත්, ඇතැම් පිරිස් සඳහා පමණක් දීමනා ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ ලේකම්වරයා මෙසේ පැවසීය.

“ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය වාර්තාවත් එක්ක අපිට දීමනා ලබාදීම ඉතාමත් අඩු සැලකිල්ලකින් සිදුවෙලා තියෙනවා. පිරිසකට පමණක් දීමනා ලබාදීලා තිබෙනවා. මේ ගැන සංගමයක් ලෙස අපි දැඩි කලකිරීමට පත් වුණා.”

එම තත්ත්වයට විරෝධය පළ කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමටද සංගමය සූදානමින් සිටින බව සුබසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ඒකට විරෝධය පෑමක් ලෙස අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න සූදානමින් ඉන්නවා. යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සූදානමින් සිටිනවා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button