
රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීමේ තීන්දුව නොවැම්බර් 06ට කල් යයි
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නොවැම්බර් මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) තීරණය කළේය.
රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 06 වැනිදා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින රෝහිත බෝගොල්ලාගම මහතාගේ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර රෝහිත බෝගොල්ලාගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඇප ඉල්ලීමට අදාළව කරුණු දැක්වීය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය නොවැම්බර් 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ලන්ඩනයේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගි වීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ.
එම ප්‍රදර්ශනය සඳහා මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීමෙන් රජයට පාඩුවක් සිදු කර දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව නඩුව පවරා තිබුණි.



