
රේණුක පෙරේරා රිමාන්ඩ්
රේණුක පෙරේරා රිමාන්ඩ් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙලෙස නියෝග කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.
සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු සම්පූර්ණයෙන් එකවර අයකර නොගෙන නිකුත් කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
අදාළ බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2014 වසරේ සැප්තැම්බර් මස 19 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එම නිර්ණායකවලට පටහැනිව සැකකරු විසින් පත්කරන ලද කමිටුවක් ලබාදුන් නිර්දේශ මත බලපත්‍ර නිකුත් කර ඇති බවත්, කමිටුවේ නිර්දේශ අනුව බලපත්‍ර 30ක් සහ සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26ක් නිකුත් කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
එම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තුව සම්පූර්ණයෙන් අය කළේ නම් රුපියල් 86,747,880ක මුදලක් රජයට ලැබීමට තිබූ බවද කොමිසමේ නිලධාරියා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අයකර බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හසු නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමි වී ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර ඇත.
ඒ අනුව සැකකරු දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙන්ම බැංකු වාර්තා සහ දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීමට නියමිත බවද අධිකරණයට දැනුම් දී ඇත. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ඇප මත මුදාහැරියහොත් විමර්ශනවලට බාධා ඇතිවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා තිබේ.
මේ අතර, රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් එල්ල කරන සියලු චෝදනා සිය සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
අදාළ බලපත්‍ර නිකුත් කිරීම සිදුව ඇත්තේ විෂය භාර අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීන්දු සහ තීරණවලට අනුකූලව බවත්, සිය සේවාදායකයා කිසිදු අක්‍රමිකතාවකට සම්බන්ධ වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ වෛද්‍ය වාර්තා කිහිපයක්ද මහේස්ත්‍රාත්වරයා වෙත භාරදී තිබේ.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල සාක්ෂි සම්පින්ඩනයක් අධිකරණය ඉදිරිපත් වී තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු රජයට පාඩුවක් සිදු කර තිබෙන බවට සෑහීමකට පත්විය හැකි කරුණු අධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා.
සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අසම්පූර්ණ තත්ත්වයක පවතිනවා. ඊට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ බලපත්‍ර ලාභීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පවතින බව පැමිණිල්ල විසින් දැනුම් දෙන බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවීමට හැකියාව පවතිනවා.”
ඒ අනුව අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් ඇප පනතේ ප්‍රතිපාදන යටතේ සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



