
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවයි
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අදාළ නියෝගය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන පරිදි මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමට පියවර ගෙන ඇත.
වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ සකස් කර ඇති අදාළ නියෝගය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව 2026 ජූලි 16 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
ඒ අනුව හඳුනාගත් බිම් කොටස් එකක් හෝ කිහිපයක් තුළ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට, ලංසු කැඳවීමේ සඳහන් පරිපාලන ගාස්තු ගෙවා සිය ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම කාරක සභා රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබේ.



