උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂ රිමාන්ඩ් – ලබන 18 වැනිදා දක්වා

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (04) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ කරුණු මෙන්ම සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු ද සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා සිදුකළ බව කියන අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවත්වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.

එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button