
සයිබර් අපරාධ මැඩලීමට නව පියවර
සයිබර් අපරාධ මැඩලීම සඳහා පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති එම කාරක සභා රැස්වීමේදී සයිබර් අපරාධ, නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ මාර්ගගත වංචා මැඩලීමට පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබේ.
නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීන් කාරක සභාව හමුවේ සඳහන් කර ඇත.
එමෙන්ම, මෙරට රැඳී සිටිමින් සයිබර් අපරාධ ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.
අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව ද නිලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.
සයිබර් අපරාධ විමර්ශනය සඳහා අවශ්‍ය තාක්ෂණික හා නීතිමය දැනුම සහිත මානව සම්පත වැඩිදියුණු කිරීමේ අරමුණින් මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට ද පියවර ගෙන තිබේ.
නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව ලබාදීමටත්, අවශ්‍ය විදේශීය පුහුණුවීම් සඳහා යොමු කිරීමටත් කටයුතු කරමින් පවතින බව නිලධාරීන් සඳහන් කර ඇත.
මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ සම්බන්ධ විමර්ශන කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් වී තිබේ.
විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කිරීමේදී මතුවන බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද එහිදී සඳහන් විය.
මීට අමතරව, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මගින් ලබාදෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය භාවිත කිරීම සහ මහජන සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කර තිබේ.



