
තෙල්දෙණි ඝාතනයේ සැකකාර පෙම්වතා හා බිරිඳ යාපනයේදී අත්අඩංගුවට
තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මියගිය කාන්තාවගේ පෙම්වතා, ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැල්ලවත්තේ සිට චාවකච්චේරිය බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ලැබුණු තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා වලාන දූෂණ මර්දන ඒකකය එක්ව අද (24) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බැලීමෙන් අනතුරුව පොලීසියට භාරවීමට සැලසුම් කර තිබූ බවයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ සැකකරුවන් පසුගිය දින කිහිපය තුළ මීගමුව හා හලාවත ප්‍රදේශවල සැඟවී සිට ඇති අතර, මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ දරා ඇති බවයි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය.
පසුගිය 17 වැනිදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවූ මළ සිරුර අම්පාර මහ රෝහලේ සේවය කළ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක වන ශම්‍යා දර්ශනීගේ බව තහවුරු වී තිබුණි.
පොලීසිය පවසන්නේ ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බවට සැක පවතින බවයි. ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන ඔහු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටියේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ වූයේ, තම නැගණිය නුවරඑළියේ මහල් නිවසක නේවාසිකව සිටින අතර දින ගණනාවක් ආහාර නොගෙන සිටින බව පවසමින් ඇය සම්බන්ධයෙන් සොයාබැලීමට සහාය ඉල්ලා ඇගේ සොහොයුරා නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය.
ඒ අනුව නිවස පරීක්ෂා කළ පොලීසියට කිසිවෙකු හමු නොවූ අතර, CCTV දර්ශන පරීක්ෂාවේදී ඉකුත් 16 වැනිදා රාත්‍රී සැකකරු නිවසට පැමිණ ඇති ආකාරය සහ පසුව සිහිසුන්ව සිටි කාන්තාව ඔසවාගෙන ගොස් මෝටර් රථයකින් රැගෙන යන අයුරු සටහන්ව තිබූ බව වාර්තා වේ.



