ප්‍රධාන පුවත්

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි – මහ බැංකු අධිපතිගෙන් අනාවැකියක්

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුවේ පුරෝකථන මගින් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යාමට මැදපෙරදිග යුදමය තත්ත්වය සහ ඉන්ධන මිල බලපා ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

අද (20) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු වීම සහ එහි බලපෑමෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය මාසය අවසන් වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේ පැවති පුරෝකථන අනුව උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් පසුව පහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබුණි.

එහෙත් මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දීර්ඝ වීමත් සමඟ එම පුරෝකථන වෙනස් කිරීමට සිදුව ඇති බව ඔහු පැවසීය.

උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටමට හැකි ඉක්මනින් ගෙන ඒමේ අවශ්‍යතාව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

ඉහළ උද්ධමනය හේතුවෙන් මෙරට ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

“අපි 2026 මැයි මාසයේ පොලී අනුපාතය වැඩි කරන අවස්ථාවේදී ඒ වෙලාවේ තිබුණු පුරෝකථනය තමයි උද්ධමනය සියයට 7ක් වගේ මට්ටමකට නැවත අඩුවෙයි කියන බලාපොරොත්තුව. නමුත් දැන් දකින පුරෝකථනය අනුව, බලාපොරොත්තු වූ ආකාරයට විශේෂයෙන් ජාත්‍යන්තර තත්ත්වය ඊට වඩා දීර්ඝ කාලයක් පැවතුණා. ඒ අවස්ථාවේ මේ යුද තත්ත්වය කෙටි කාලීනව පවතී, ඊට පසුව මේ තෙල් මිල යම්කිසි ආකාරයකට ස්ථාවර වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක මේ මෑතක් වෙනකන්ම ඉහළ මට්ටමක පැවතුණා. ඒක නිසා උද්ධමනයත් අපි බලාපොරොත්තු වුණාට වඩා ඉහළ මට්ටමකට ගියා. ගිය මාසයේ උද්ධමනය සියයට 8.3ක් වුණා. අපිට පේනවා ලබන මාසය විතර වනවිට සියයට 9ක් හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක මේ උද්ධමනය පවතින බවට අපේ පුරෝකථනයේ පෙන්නුම් කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button