ප්‍රධාන පුවත්

ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පත සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ආගමන පනත් කෙටුම්පත යටතේ නව නීති සහ තාක්ෂණික ප්‍රතිපාදන රැසක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබාදී ඇති තීරණයට අනුකූලව, කාරක සභා අවස්ථාවේදී සිදුකළ යුතු සංශෝධනවලට යටත්ව මෙම අනුමැතිය ලබාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝද එක්ව සිටියහ.

මෙම නව පනත හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ දැනට ක්‍රියාත්මක වන 351 වන අධිකාරිය වූ ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත ඉවත් කර ඒ වෙනුවට වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නවීන තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම බව නිලධාරීහු පෙන්වා දී තිබේ.

තවද, මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමෙන් පසුව ලබාදුන් තීරණ සහ නිර්දේශිත සංශෝධන සියල්ල ඊට ඇතුළත් කර ඇති බවද නිලධාරීන් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම ජෛවමිතික තොරතුරු ලබාගැනීම සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ආරක්ෂාවද නව පනත් කෙටුම්පත මගින් තහවුරු කර තිබේ.

එමෙන්ම දැනට භාවිත වන පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී යන පැරණි තනතුරු නාම වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් යන නව තනතුරු නාම හඳුන්වාදී ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත.

නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට සීමිත බලතල ක්‍රියාත්මක කිරීමටද නව පනත යටතේ අවස්ථාව සැලසීමට යෝජනා කර තිබේ. ඒ අනුව අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මගින් එම බලතල පවරනු ලබන බව සඳහන් වේ.

තවද ශ්‍රී ලංකාවෙන් නීත්‍යානුකූලව පිටත්ව ගොස් වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදුකරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරීමටද නව පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත. එවැනි සංවිධානාත්මක නීතිවිරෝධී ක්‍රියාවලට අදාළ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමට අවශ්‍ය බලතලද ඊට ඇතුළත් කර තිබේ.

විදේශ ගමන් බලපත්‍රවල මුද්‍රා තැබීමකින් තොරව භාවිත කළ හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර පද්ධති ක්‍රියාත්මක කිරීම ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීමද මෙම පනත් කෙටුම්පතේ තවත් විශේෂ අංගයක් බව නිලධාරීහු පෙන්වා දී ඇත.

මීට අමතරව ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ විවාහ වන විදේශිකයන්ට මෙරට වීසා ලබාදීමේදී මතුවන නීතිමය තත්ත්වයන් සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද කාරක සභා රැස්වීමේදී විශේෂ අවධානය යොමු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button