ප්‍රධාන පුවත්

TIN අංකය අනිවාර්යයි – අද සිට ක්‍රියාත්මක වන නව නීති මෙන්න

TIN අංකය අනිවාර්යයි වන නව වැඩපිළිවෙළ අද (01) සිට ක්‍රියාත්මක කර තිබේ.

නිශ්චිත රාජකාරි සහ සේවා කිහිපයක් ලබාගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද සිට අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

TIN අංකය අනිවාර්යයි වන කාර්යයන් රැසක් මෙන්න

ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමේදී මෙම අංකය ඉදිරිපත් කළ යුතු වේ.

එසේම ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදීද TIN අංකය අනිවාර්ය කර තිබේ.

ඊට අමතරව ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකයක් ඉදිරිපත් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අදාළ කාර්යයන් සිදුකිරීමට පෙර ඉදිරිපත් කරන TIN අංකයේ වලංගුභාවය වගකිවයුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවද දැනුම් දී තිබේ.

මේ දක්වා TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවා පද්ධතිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

එමෙන්ම දැනටමත් TIN අංකයක් ලබාගෙන ඇති පුද්ගලයන්ට තම අංකය වලංගුද යන්නද එම ඊ-සේවාව හරහා පරීක්ෂා කරගැනීමට අවස්ථාව සලසා තිබේ.

අදාළ තහවුරු කිරීම සාර්ථක වූ පසු TIN අංකය පරිගණක තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇත.

මේ අතර වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන් TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, එම සියලු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්‍ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් අදාළ පුද්ගලයාට ආදායම් බදු ගෙවීමේ වගකීම පැවරෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button