
උණුසුම් පුවත්
වසන්ත කරන්නාගොඩ ඇප මත මුදාහරියි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන්නේය.
2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බඳවා ගැනීම සහ සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට රජයේ මුදල් වැය කර ඔහු සහභාගි කරවීම තුළින් දූෂණයක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.



