ප්‍රධාන පුවත්

නිසි යෝග්‍යතා සහතික නැති වාහන ගැන පොලීසියෙන් දැඩි ක්‍රියාමාර්ග

මෝටර් රථවල නීතිවිරෝධී නවීකරණ සහ අන්තරාදායක කොටස් සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.

පොලීසිය පෙන්වා දෙන්නේ, මෑතකදී සිදුවූ රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී විශේෂයෙන් නවීකරණය කරන ලද බස් රථ නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කිරීම හේතුවෙන් මාරාන්තික අනතුරු වැඩිවී ඇති බවයි.

ඔවුන් අනාවරණය කර ඇති ප්‍රධාන නීතිවිරෝධී ක්‍රියා අතර අවිධිමත් නවීකරණ, අමතර උපාංග සවිකිරීම්, පෙනුම වෙනස් කිරීම සහ මාර්ග ආරක්ෂාවට බාධාකාරී වෙනස්කම් ඇතුළත් වේ.

ඒ අතර,
සයිලන්සරයේ හැඩය වෙනස් කර පරිසරයට අධික ශබ්ද පිටකිරීම.
විවිධ වර්ණ සහිත නිවි නිවී දැල්වෙන (Strobe lights) පහන් සහ නීති විරෝධී නලා සවිකිරීම.
වාහනවල වර්ණය වෙනස් කිරීම, චිත්‍ර, මෝස්තර සහ ඉෂ්ට රූප ප්‍රදර්ශනය කිරීම.
මාර්ගය භාවිතා කරන්නන්ට අනතුරු හෝ කරදර සිදුවිය හැකි අයුරින් අමතර යකඩ කොටස් සවිකිරීම.

මීට අමතරව, මාර්ගයේ ධාවනය වන වාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වන්නේ නම්, අදාළ වාහන අංකය, ස්ථානය සහ දිනය සමඟ 070 350 0525 යන WhatsApp අංකයට තොරතුරු යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෝටර් වාහන ආඥා පනතට අනුව, මාර්ගය භාවිතා කරන්නන්ට හෝ දේපළවලට අනතුරක් විය හැකි තත්ත්වයේ වාහනයක් මාර්ගයේ ධාවනය කිරීම නීති විරෝධී බවද පොලීසිය අවධාරණය කරයි.

මහමඟ ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙවැනි වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button