ප්‍රධාන පුවත්

දේශීය ආදායම් බදු හිඟය ට්‍රිලියන 2.1කට ආසන්න වෙයි – IMF වාර්තාවකින් හෙළිවෙයි

දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1කට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය කර තිබේ.

දේශීය ආදායම් බදු හිඟය ඉහළ යාමට බලපෑ හේතු මෙන්න

එම වාර්තාවට අනුව, 2025 වසර අවසන් වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ වාර්තා වී තිබූ සමස්ත බදු ගෙවීම් පැහැර හැරීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 2.1කට ආසන්නය.

මෙම හිඟ බදු මුදලින් රුපියල් ට්‍රිලියන 1.6කට ආසන්න ප්‍රමාණයක් බදු තක්සේරු සම්බන්ධ අභියාචනා සහ වෙනත් විවාදයන්ට අදාළව පවතින මුදල් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව හිඟ බදු අයකර ගැනීමේ ක්‍රියාවලියට බලපාන ප්‍රධාන බාධකයක් ලෙස අභියාචනා සහ බදු සම්බන්ධ විවාද හඳුනාගෙන තිබේ.

මේ අතර 2024 වසර අවසානයේදී වාර්තා වූ සමස්ත බදු ගෙවීම් පැහැර හැරීම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.1කට ආසන්න වී තිබූ බවද වාර්තාවේ දැක්වේ. එම මුදලින් රුපියල් බිලියන 947කට ආසන්න ප්‍රමාණයක්ද අභියාචනා හෝ වෙනත් විවාදයන්ට යටත්ව පැවති බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

අභියාචනා හෝ වෙනත් විවාදවලට ලක් නොවූ බදු හිඟයන් පවා දීර්ඝ කාලයක් තිස්සේ අයකර නොගෙන පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ඊට බලපා ඇති හේතු අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟය, බදු අයකර ගැනීම සඳහා ප්‍රමාණවත් ප්‍රමුඛතාවක් ලබා නොදීම සහ අවදානම මත පදනම් වූ නිසි කළමනාකරණ ක්‍රමවේදයක් නොමැතිවීම ප්‍රධාන වේ.

එමෙන්ම සැබවින්ම අයකරගත හැකි බදු හිඟයන් සහ අයකර ගැනීමේ සම්භාවිතාව අඩු හෝ ඒ සඳහා වැයවන පරිපාලන වියදමට සාපේක්ෂව අයකර ගැනීම ප්‍රායෝගික නොවන බදු හිඟයන් වෙන්කර හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් නොමැති බවද වාර්තාව පෙන්වා දෙයි.

දේශීය ආදායම් පනත සහ එකතු කළ අගය මත බදු පනත යටතේ අයකරගත නොහැකි බදු ණය සෘජුව කපා හැරීමේ බලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හිමි නොවේ. එවැනි බදු ණය කපා හැරීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීම අවශ්‍ය බවද වාර්තාවේ සඳහන් වේ.

තවද වසර පහකට වැඩි කාලයක් තිස්සේ පවතින ඇතැම් බදු හිඟයන් සම්බන්ධයෙන්ද ප්‍රමාණවත් අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර තිබේ. විශේෂයෙන් එවැනි හිඟ මුදල් අභියාචනා හෝ වෙනත් විවාදවලට අදාළ නොවන අවස්ථාවලදී පවා ඒවා අයකර ගැනීමට අවශ්‍ය පියවර ප්‍රමාණවත් ලෙස ගෙන නොමැති බව එහි දැක්වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදු හිඟයන් පවතින කාලසීමාව, ඒවා විවාදයට ලක්ව තිබේද යන්න, අයකර ගැනීමේ හැකියාව සහ ඒ සඳහා වැයවන පරිපාලන වියදම යන කරුණු මත පදනම්ව නව කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත.

එම ක්‍රමවේදය හරහා අයකරගත හැකි බදු හිඟයන්ට ප්‍රමුඛතාව ලබාදීමටත්, අඩු වටිනාකමක් සහිත, විවාදයට ලක්ව ඇති හෝ අයකර ගැනීමේ හැකියාව අඩු බදු හිඟයන් වෙනම කළමනාකරණය කිරීමටත් හැකි වනු ඇති බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button