උණුසුම් පුවත්

රුමේෂ් ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

 

2026 ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ නිර්දේශ වී තිබේ.

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කළ පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ද ඇතුළත් කර ඇති අතර, ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල නොවැම්බර් 29 වනදා මොනාකෝහිදී පැවැත්වීමට නියමිතය.

2026 තරග වාරයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රුමේෂ්, Ultimate Championship, ඩයමන්ඩ් ලීග්, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම් දිනාගැනීමට සමත්ව ඇත.

එමෙන්ම මීටර් 92.62ක දුරක් හෙල්ල විසිකරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත්ව ඇති අතර, එය මෙවර තරග වාරයේ ලොව හොඳම දක්ෂතාව ලෙස සටහන් වී තිබේ.

මෙවර තරග වාරයේදී ඔහු සහභාගි වූ තරග 14කින් තරග 13ක්ම ජයගැනීමට සමත්වීමද විශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩා සංගමයට අනුව, නාමයෝජනා 10 තෝරාගෙන ඇත්තේ එම සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකු සහ මහාද්වීපික කලාපීය සංගම් හයෙන් එක් නියෝජිතයෙකු බැගින් ඇතුළත් අටදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගිනි.

අවසාන ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා ක්‍රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් පැවැත්වීමට නියමිතය. එහිදී අවසන් වටයට තේරෙන පිරිමි හා කාන්තා අංශවල තරගකරුවන් තිදෙනා බැගින් නොවැම්බර් 10 සහ 11 යන දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අනතුරුව එම අවසන් තරගකරුවන් මොනාකෝහි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවා 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම සම්මානය සඳහා නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග දැනටමත් ඉතිහාසයට එක්ව සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button