ප්‍රධාන පුවත්

IMF උපදෙස් මැද ඉන්ධන මිල ගැලපීම ගැන රජයෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ගැලපීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සිදුකර ඇති දැනුම්දීම පිළිබඳව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) අදහස් පළ කළේය.

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යමින් පවතින පසුබිමක, ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගැලපීම පිළිබඳව IMF විසින් දැනුම්දී තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, IMF විසින් එවැනි ඉල්ලීමක් සිදුකර තිබුණද, එහි සමස්ත බර ජනතාව මත පැටවීමකින් තොරව රජය විසින් සැලකිය යුතු සහන ලබාදී ඇති බවය.

විදුලිය, ජලය සහ ඉන්ධන වැනි සැපයුම්වලදී පිරිවැය ගැලපීම සම්බන්ධයෙන් IMF විසින් මීට පෙර සිටම උපදෙස් ලබාදී ඇති බවද ඔහු පැවසීය.

එහෙත් පිරිවැය ගැලපීම සිදුකරන අතරතුර ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙර සිටම එන්නේ මෙවැනි විදුලිය, ජලය, වැනි සැපයුම්වලදි පිරිවැය ගලපන්න කියන එක ඒක තමයි ඒ අය කියන දේ. අපි පිරිවැය ගැලපීමට උත්සාහ කරන අතරෙම හැබැයි සමස්ත පිරිවැයම ජනතාව මත පටවන්නේ නැතිව මේ රජය සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ගිය සැරේ ඩීසල් රුපියල් 100ක් ලබා දුන්නා. දැන් ඩීසල්වලට රුපියල් 70ක් ලබා දීලා තිබෙනවා ලීටරයකට, ගියවර පෙට්‍රල්වලට ලීටරයකට රුපියල් 20ක් ලබා දුන්නා එහෙම කටයුතු කරන් යනවා අනාගතයේදී ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවඡනය වීම අනුව අපි බලමු. මූල්‍ය අරමුදල පිරිවැය ගලපන්න කියලා තියෙද්දිත් ආණ්ඩුවට පුළුවන් වෙලා තිබෙනවා ජනතාව වෙනුවෙන් ඒ සහන ලබා දෙන්න.“

ඒ අනුව ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනය වන ආකාරය සැලකිල්ලට ගනිමින් දේශීය මිල සම්බන්ධයෙන් තීරණ ගන්නා බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button