
මහවැලි ගඟ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ගංවතුර අනතුරු ඇඟවීමක් ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (03) පස්වරු 12.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වෙන අතර, මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එහි සඳහන් වේ.
මෙම අනතුරු ඇඟවීම මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශ සඳහා අදාළ වේ.
එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත්බිම්වල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
තවද ඉදිරි කාලය තුළ වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බැවින් ගංවතුර අවදානම පිළිබඳ නිල උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම්දී ඇත.



