
බලයට පත්වූ දින සිට ජාතික ආරක්ෂාව තහවුරු කළා
ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට ප්‍රකාශයක්
රජය බලයට පත්වූ දිනයේ සිටම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමුහිකයේ ආසන සමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල ගැටලුකාරී තත්ත්වයන් මතුවූ නමුත්, ඒවා මේ වන විට පාලනය කර සමථයකට පත් කර ඇති බවද ඔහු පැවසීය.
තම කණ්ඩායම සියලු කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව සහ ප්‍රතිපත්තිවලට ගරු කරමින් සිදුකරන බව අරුණ ජයසේකර මහතා අවධාරණය කළේය.
මේ අතර ජාතික ජන බලවේග ආණ්ඩුව සිදුකරන යහපත් කාර්යයන්ට විපක්ෂය නිරන්තරයෙන් විරෝධය පළ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම සහ බෝගම්බර බන්ධනාගාරය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරියේදී කරුණු පැහැදිලි කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



