උණුසුම් පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඒකමතිකව විරෝධය පළ කර තිබේ.

අද (29) පෙරවරු 11ට පමණ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, රැස්වීමට සහභාගී වූ සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥවරු අත් ඔසවා මෙම යෝජනාවට විරෝධය පළ කළ බවයි.

ඔහු පෙන්වා දුන්නේ, මෙම යෝජනාවට විනිසුරුවරුන්ගේද විරෝධය පවතින බවත්, ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය අදූරදර්ශී මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත්ය.

එමෙන්ම මහා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවීමත් සමඟ ඉදිරියේදී ගත හැකි සියලු නීතිමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහුගේ අදහස අනුව, මෙම යෝජනාව අධිකරණ පද්ධතියට දීර්ඝකාලීන අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටද අපහසුතාවයක් මතුවිය හැකි බව සඳහන් කළේය. එම නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස්ද සැලකිල්ලට ගෙන යෝජනාව ඉවත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්වීම සලකා බැලිය යුතු බවත් ඔහු පැවසීය.

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළ කළද, ඒ පිළිබඳ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව මෙතෙක් අවස්ථාවක් ලබා නොදුන් බවද රජීව් අමරසූරිය මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් අද (29) පස්වරු 5ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවද ඔහු අනාවරණය කළේය.

“අපිව කෙටි කාලයකින් අමතක කළත් අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා. අපිව පැත්තට දාලා යන්න හැදුවත්, අපිට මඩ ප්‍රහාර ආවත් අපි ඒවට සැලෙන්නේ නෑ ඉදිරියටම යනවා. අද දිනෙය් සවස 5 අධිකරණ ඇමති තුමා හමුවෙනවා. එතුමාත් අපේ කෙනෙක්. එතුමා ඇමති කෙනෙක් නොවී නීතිඥ සංගමයේ සභාපති වුණානම් එතුමා මීට වඩා කෑ ගහන්න ඉඩතිබුණා.”

මේ අතර, විශේෂ මහා සභාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ දයාසිරි ජයසේකර මහතාද සඳහන් කළේ, ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් ඒකමතිකව සිය විරෝධය පළ කළ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button