ප්‍රධාන පුවත්

යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ නඩුව ජුනි 10 දක්වා කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව ජුනි මස 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඔහු සඳහන් කළේ, මෙම චෝදනාවන්ට අදාළ තවත් නඩුවක් අංක 08 මහාධිකරණය ඉදිරියේද පවතින බවයි.

එම නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියම වී ඇති බැවින්, මෙහිද එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය විය හැකි බව රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව, එම කටයුතු සඳහා කාලය ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා, නඩුව ජුනි 10 දක්වා කල් දමා, එදිනට අදාළ ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස නියම කළේය.

මෙම නඩුව යටතේ, 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය අතර උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button