
2026 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා අපනයන ආදායම 2%කින් ඉහළට – මැදපෙරදිග යුද්ධය අතරත් වර්ධනයක්
ගෝලීය අර්බුද මැදද ආර්ථික ස්ථායීතාවයට සුබ ලකුණු පෙන්වමින් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්රය ඉදිරියට ගමන් කරයි.
මැදපෙරදිග යුද්ධ වාතාවරණය මධ්‍යයේ වුවද, 2026 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1,467ක අපනයන ආදායමක් උපයාගැනීමට හැකිවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා (23) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, එම මුදලෙන් අ.ඩො. මිලියන 1,180ක් වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් සහ අ.ඩො. මිලියන 286ක් සේවා අපනයනයෙන් ලැබී ඇති බවයි.
පෙබරවාරි මාසය සමඟ සසඳන විට මාර්තු මාසයේ අපනයන වර්ධනය 9%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ මාර්තු මාසය සමඟ සසඳන විට එය 5.2%කින් අඩුවී ඇති බවද ඔහු සඳහන් කළේය.
ක්ෂේත්‍ර වශයෙන් පොල් ආශ්රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික, ආහාරපාන, මැණික් හා ස්වර්ණාභරණ සහ තොරතුරු තාක්ෂණ සේවා වැනි අංශ මාර්තු මාසයේදී කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇත.
කලාපීය ලෙස බලන විට ලතින් අමෙරිකානු රටවලට අපනයන ආදායම අඩුවී තිබුණද, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව වෙත අපනයන වර්ධනයක් වාර්තා වී ඇත. එහෙත් මැදපෙරදිග කලාපයට අපනයන 48%කින් පහත වැටී ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සමස්ත අපනයන ආදායම අ.ඩො. මිලියන 4,308ක් ලෙස සටහන් වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය සමඟ සසඳන විට සම්මත වශයෙන් 2%කට ආසන්න වර්ධනයකි.
මෙම කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අ.ඩො. මිලියන 3,387ක් සහ සේවා අපනයනයෙන් අ.ඩො. මිලියන 921ක් ලෙස ආදායම ලබාගෙන ඇත.
සමස්තයක් ලෙස බලන විට, ගෝලීය අර්බුද සහ මැදපෙරදිග යුද්ධ තත්ත්වයන් තිබියදීත් ශ්‍රී ලංකාව අපනයන ක්ෂේත්රයේ වර්ධනයක් ලබා ගැනීම ආර්ථිකයට හොඳ සංකේතයක් ලෙස සැලකිය හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කරයි.



