ප්‍රධාන පුවත්

අධිකරණ ස්වාධීනත්වය හට බලපෑම් නොකරන්න – විපක්ෂ නායක

අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වගකීමක් බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව රජයට බලය ලබාදුන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කර අධිකරණයට විධායක බලපෑම් එල්ල කිරීමට නොවන බව අවධාරණය කළේය.

ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාට ජනතාව ලබාදුන් වරම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුකර පාලන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා මිස, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ක්‍රියාමාර්ග ගැනීම සඳහා නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, වත්මන් රජය ඒකාධිපති සහ තනි පක්ෂ පාලනයකට ඉඩ සලසන ආකාරයේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට තමන් සැක පළ කරන බවය. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන පවා භාවිතා කිරීමට උත්සාහ දරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔහුගේ අදහස අනුව, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ස්වාධීන කුළුණු තුන මත පදනම් වන අතර, ඒ අතර බලය බෙදී යාම සහ සංවරණ හා තුලනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

එම මූලධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති නම්, මොන්ටෙස්කියුගේ Spirit of Laws කෘතිය අධ්‍යයනය කරන ලෙසද ඔහු ජනාධිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට යෝජනා කළේය.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසයට හා විනිසුරුවන්ගේ ස්වාධීනභාවයට හානි සිදුකළ හැකි බවත්, එවැනි ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට හේතු විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button