සෞඛ්‍යය

මී උණ අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මී උණ (Leptospirosis) රෝගය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මෙම රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාවද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව එම සංගමය අවධාරණය කරයි.

 

සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාත් මහතා සඳහන් කළේ මීයන්ගේ මූත්‍රවල පවතින Leptospira බැක්ටීරියාව සමේ කුඩා තුවාල, ඇස් හෝ ශ්ලේෂ්මල පටල හරහා ශරීරයට ඇතුළු වීමෙන් රෝගය වැළඳිය හැකි බවයි.

 

ගොවීන්, කුඹුරු හා මඩබිම්වල සේවය කරන පිරිස්, කානු පද්ධති පිරිසිදු කරන සේවකයන්, ගොඩ වගාවල නිරත පුද්ගලයන් සහ පුරන් කුඹුරු හා වගුරුබිම් ආශ්‍රිතව ක්‍රීඩා කරන දරුවන් මී උණ අවදානම වැඩි පිරිසක් ලෙස හඳුනාගෙන තිබේ.

 

එමෙන්ම දියකඩිති, නිසල ජලය රැඳී ඇති ස්ථාන සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමේදීද රෝගය වැළඳීමේ අවදානම පවතින බැවින් එවැනි ක්‍රියාකාරකම්වලදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව දැනුම් දී ඇත.

 

මඩ සහිත පරිසරයක සේවය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් මත ඩොක්සිසයික්ලීන් (Doxycycline) ඖෂධය ලබාගැනීම වැදගත් බවත්, එය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් නොමිලේ ලබාදෙන බවත් සඳහන් කෙරේ. කෙසේ වෙතත් එම ඖෂධය භාවිත කළ යුත්තේ වෛද්‍ය උපදෙස් හා නිසි මාත්‍රාව අනුව පමණක් බවද අවධාරණය කරයි.

 

මී උණ සහ ඩෙංගු රෝගවල ආරම්භක රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වන අතර උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ ඇස්වල වේදනාව වැනි ලක්ෂණ මතුවිය හැකිය.

 

එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදුකර රෝගය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

නිවසේදී ස්වයං ප්‍රතිකාර කිරීම, සාම්ප්‍රදායික ඖෂධවලට පමණක් යොමුවීම හෝ ප්‍රතිකාර ප්‍රමාද කිරීම ජීවිතයට අවදානම් විය හැකි බැවින්, රෝග ලක්ෂණ මතුවූ වහාම රජයේ හෝ පෞද්ගලික සෞඛ්‍ය ආයතනයකින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button