විදෙස්

සෝමාලි කොල්ලකරුවන් ඉන්ධන නෞකාවක් පැහැරගනී

යේමනයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයකදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමන වෙරළාරක්ෂක බලකාය පවසන්නේ MT Eureka නමැති මෙම නෞකාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර, එය අනතුරුව සෝමාලියාව දෙසට ගමන් කරමින් තිබූ බවය. නෞකාව කානා වරාය ආසන්න ඒඩන් බොක්ක කලාපයේදී අල්ලාගෙන ඇති බවද වාර්තා වේ.

පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී නෞකාව ටෝගෝ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ අතර, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා පදනම් කරගත් නාවික සමාගමකට අයත් බව සඳහන්ය. මෙම නෞකාව දින 8කට පමණ පෙර ෆුජයිරා වරායෙන් පිටත්ව ගොස් යේමනයේ අල් මුකල්ලා වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබූ බවද අනාවරණය වී තිබේ.

විදෙස් වාර්තා අනුව, පසුගිය දින 10 තුළ සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් දෙවන ඉන්ධන නෞකාව මෙය වේ. මීට පෙර අප්‍රේල් 22 දා Honor 25 නෞකාවද ඉන්ධන බැරල් 18,500ක් සමඟ මොගඩිෂු වෙත ගමන් කරමින් සිටියදී පැහැරගෙන තිබුණි.

සමුද්‍ර ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ, පසුගිය සති දෙක තුළ පමණක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිදුකළ පැහැරගැනීම් හතරක් වාර්තා වී ඇති බවයි. 2011න් පසු පහත වැටී තිබූ මෙම ක්‍රියාකාරකම්, 2023 අග භාගයේ සිට හවුති කැරලිකරුවන් රතු මුහුද සහ ඒඩන් බොක්ක කලාපයේ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ යළි ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button