ප්‍රධාන පුවත්

කොළඹ ප්‍රා.ලේ කාර්යාල 13ක කාඩ්පත් ගෙවීම් අද සිට

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කිරීමේ පහසුකම අද (02) සිට මහජනතාවට ලබාදී තිබේ.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව හඳුන්වා දුන් මෙම නව ක්‍රමවේදය මඟින් රාජ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්ත සහ ජනතා හිතකාමී කිරීම අරමුණු කර ඇත.

මෙහි සමාරම්භක අවස්ථාව අද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී රෙජිස්ට්‍රාර් අංශය සහ වාහන ආදායම් බලපත්‍ර අංශය සඳහා ස්ථාපිත කළ POS යන්ත්‍ර විවෘත කරමින් උප්පැන්න සහතික හා වාහන ආදායම් බලපත්‍ර සංකේතාත්මකව නිකුත් කිරීමද සිදු කෙරිණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ රාජ්‍ය බැංකුවක මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම ආවරණය වන පරිදි කාඩ්පත් මඟින් ආරක්ෂිත ගෙවීම් සිදුකිරීමේ හැකියාව ජනතාවට හිමිවේ.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඩිජිටල් ලෝකයට අනුගත වන රාජ්‍ය සේවාවක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි. මෙම ක්‍රමය හරහා මුදල් රැගෙන යාමේ අවශ්‍යතාව අවම වන අතර, සේවා වඩාත් කාර්යක්ෂමව ලබාගැනීමටත් ගනුදෙනු ආරක්ෂිත හා විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමටත් හැකිවන බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම මුදල් වංචා සහ අස්ථානගත වීමේ අවදානම අවම කිරීම, සියලු ගනුදෙනු නිසි ලෙස වාර්තාගත කිරීම සහ විගණන කටයුතු පහසු කිරීම මෙන්ම රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමටද මෙම වැඩසටහන ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button