
සීනි බීම වර්ණ ලේබල් නීති සංශෝධනය ගැසට් කෙරේ
සීනි අන්තර්ගත දියර ආහාර සඳහා අනිවාර්ය වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ මෙම සංශෝධන නියෝග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිකුත් කර ඇති අතර, ඒවා ජුනි 23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
නව නියෝග අනුව, සීනි අන්තර්ගත දියර ආහාර ඇසුරුම්වල ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ක්‍රමවේදය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ.
එමෙන්ම, ඉඩකඩ සීමා සහිත වීදුරු බෝතල් සඳහා භාවිත කළ හැකි විකල්ප ලාංඡන ආකෘතියක් ද මෙම සංශෝධන මඟින් හඳුන්වා දී ඇත.
තවද, “ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට” (Business to Business) සැපයෙන ආහාර නිෂ්පාදන සඳහා නව අර්ථ නිරූපණයක් ද ඇතුළත් කර ඇති අතර, එවැනි නිෂ්පාදන සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා නොව, තවදුරටත් සැකසීම, පිළියෙළ කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ආහාර ලෙස අර්ථ දක්වා ඇත.
නව උපලේඛනයට අනුව මිලිලීටර් 100කට සීනි ග්‍රෑම් 8.0ට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා අන්තර්ගත බීම සඳහා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යෙදීම අනිවාර්ය කර තිබේ.
මෙම සංශෝධන ඇතුළත් සම්පූර්ණ අතිවිශේෂ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර ඇත.



