ප්‍රධාන පුවත්

ආබාධිත රණවිරුවන්ට සහන ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවධානය

ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

එම සාකච්ඡාව පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර, යුද සමයේදී ආබාධිත වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින් නිවැරදිව හඳුනාගෙන ඔවුන් මුහුණ දෙන නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

ඒ අනුව, අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව පත්කර ඇති කමිටුවේ කාර්යභාරය කාර්යක්ෂම කරමින් සහන ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් මියගිය, ආබාධිත වූ හෝ ආබාධිත තත්ත්වය නිසා රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය සහිත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

එමෙන්ම, වෛද්‍ය මණ්ඩල කටයුතු ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කර ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

දිවයින පුරා විසිරී සිටින ආබාධිත රණවිරු සාමාජිකයින්ට අපහසුතාවයකින් තොරව සහන හිමි කරදීම සඳහා ත්‍රිවිධ හමුදාවන් සතු වෛද්‍ය පහසුකම් උපරිම ලෙස භාවිතයට ගෙන ඔවුන් වෛද්‍ය මණ්ඩල වෙත යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

සුදුසුකම් සපුරන පුද්ගලයින් වෙත ප්‍රතිලාභ ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button