
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි
වැසි සහ මුහුදු තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින්න
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි අද (21) දිනයේදීත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි වැඩි විය හැකිය. එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවට දැනුම් දී තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අහස වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී ඇත. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.
මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්
මේ අතර, රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 4.15ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අද උදෑසන 10.15 දක්වා බලපැවැත්වේ.
කන්කසන්තුරේ සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60–70ක පමණ තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවද පවතී.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත වන ධීවර හා නාවික ප්‍රජාව කාලගුණ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.



