
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් තවම නෑ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තැබීමට මේ වනවිට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
වරුණ ජයසුන්දර මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ශී හේරත් මහත්මිය මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළාය.
ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඇය සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව මුහුණුවරකින් විමර්ශන ක්‍රියාත්මක වන නමුත්, මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව පෙත්සම්කරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තැබීමක් සම්බන්ධ තීරණයක් ගෙන නොමැති බවය.
එමෙන්ම, විමර්ශනවලට අදාළ සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට වරුණ ජයසුන්දර මහතාට එරෙහිව මතුකර ඇති චෝදනා සම්බන්ධයෙන්ද මේ වනවිට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඤාණරාජ් මහතා පෙන්වා දුන්නේ විශ්වාසදායක සාක්ෂි නොමැතිව එවැනි චෝදනා ඉදිරිපත් කර ඇති බවත්, තම සේවාදායකයා ඉල්ලා ඇති ස්ථාන මාරුවක් ද මේ දක්වා ලබාදී නොමැති බවත්ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විනිසුරු මඩුල්ල, විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක පෙත්සම්කරුට සුදුසු ස්ථාන මාරුවක් ලබාදීම යෝග්‍ය බව සඳහන් කළේය.
ඒ අනුව, වරුණ ජයසුන්දර මහතාට ස්ථාන මාරුවක් ලබාදීමේ හැකියාව පිළිබඳව පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබන 17 වැනිදා අධිකරණය දැනුවත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට විනිසුරු මඩුල්ල උපදෙස් ලබා දුන්නේය.
මෙම පෙත්සම මගින් වරුණ ජයසුන්දර මහතා ඉල්ලා තිබුණේ පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළ විමර්ශන හේතුවෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.



