ප්‍රධාන පුවත්

රජයේ සේවා කාර්යක්ෂම කිරීමට PIC-Net ඩිජිටල් නියමු ජාලයක්

රජයේ මහජන සේවා වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක කිරීමට “Public Impact Champions Network” හෙවත් PIC-Net නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙය රජයේ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස හඳුන්වා දී ඇති අතර, රාජ්‍ය අංශය පුරා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, ජනතාවට ලබාදෙන සේවාවන් වඩාත් ප්‍රශස්ත කිරීමත් මෙම වැඩසටහනේ ඉලක්ක බවයි.

ඒ අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

PIC-Net යටතේ තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයකම සේවකයින් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරනු ලබන අතර, ඔවුන් ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසංස්කරණය, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල නායකත්වය ගනු ඇත.

මෙම වැඩසටහන හරහා රාජ්‍ය අංශය පුරා ඩිජිටල් පරිවර්තන නියමුවන් 400 දෙනෙකුගෙන් සමන්විත ජාතික ජාලයක් බිහිකිරීමටද අපේක්ෂා කෙරේ.

තෝරාගත් නියමුවන්ට විධිමත් පුහුණුව, ප්‍රායෝගික වැඩමුළු සහ විශේෂඥ මගපෙන්වීම් ලබාදීමට නියමිත අතර, ඔවුන් ආයතන තුළ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් අඛණ්ඩ සංවර්ධනයට දායක වනු ඇත.

මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka එක්ව සම්බන්ධීකරණය සිදු කරන අතර, Asian Development Bank (ADB) සහායද ලැබී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button