
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
ඒ අනුව ලබන 12 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිපියක් මගින් ඔහුට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
අදාළ ලිපිය අද (09) දිනයේ තංගල්ල ප්‍රදේශයේ පිහිටි කාල්ටන් නිවස වෙත භාරදී තිබෙන අතර, පසුගිය සතියේද හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා පළවූවත්, එවකට නිල ලිපියක් භාරදී නොතිබූ බව සඳහන්ය.
මෙම සිදුවීම වාර්තා වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණයෙන් පැය 24ක් ගතවීමට පෙර කාලසීමාවකදීය.
2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් A330 ගුවන් යානා 6ක් සහ A350 වර්ගයේ යානා 8ක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක වෙත චෝදනා එල්ල වී තිබුණි.
විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබුණේ, අදාළ මුදලෙන් කොටසක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇති බවය.
කෙසේවෙතත්, ඔහුගේ නීතිඥ පාර්ශ්වය අධිකරණයට දැනුම්දී ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තර්ජන එල්ල කර ප්‍රකාශ ලබාගෙන ඇති බවට චෝදනා කරමිනි.



