
හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි
හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි
හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පාලනාධිකාරිය නිවේදනය කරයි.
වරාය හරහා සිදුකර ඇති සමස්ත රථවාහන ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වී ඇති අතර, එය වරායේ මෙහෙයුම් ක්ෂේත්රයේ කැපීපෙනෙන වර්ධනයක් ලෙස සැලකේ.
මෙම වර්ධනයත් සමඟ වාහන මෙහෙයුම් සහ ගබඩා කිරීමේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට ද වරාය පාලනාධිකාරිය සැලසුම් කර තිබේ.
ඒ යටතේ විශේෂිත රථවාහන නෞකාගත කිරීමේ සහ ගොඩබෑමේ මෙහෙයුම් සඳහා නව නැව් නැංගුරම් ස්ථානයක් මෙන්ම රථවාහන අංගණයක් ද ඉදිකිරීමට නියමිතය.
මෙම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහන නෞකා සමාගම්වල වර්ධනය වන අවශ්‍යතා සපුරාලීමටත් අපේක්ෂා කරන බව පාලනාධිකාරිය සඳහන් කරයි.
වාර්තාවලට අනුව 2025 වසරේදී හම්බන්තොට වරාය හරහා වාහන 726,153ක් මෙහෙයවා තිබේ. 2024 වසරේදී එම සංඛ්‍යාව 579,362ක් ලෙස සටහන් වී ඇත.
ඒ අනුව පෙර වසරට සාපේක්ෂව 2025 වසරේදී වාහන මෙහෙයුම් සංඛ්‍යාව 146,791කින් ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 25.3ක පමණ වර්ධනයකි.
තවද, 2026 ජූලි මාසය තුළ පමණක් වාහන 104,620ක් මෙහෙයවීමට වරාය සමත්ව තිබේ. එය එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම වාහන මෙහෙයුම් සංඛ්‍යාව ලෙස සඳහන් වේ.
වරායේ ධාරිතාව පුළුල් කිරීමේ දෙවැනි අදියරේ පළමු පියවර යටතේ හෙක්ටයාර හයක භූමි ප්‍රමාණයකින් යුත් නව රථවාහන නෞකාගත කිරීමේ සහ ගොඩබෑමේ අංගණයක් ද පසුගිය මාර්තු මාසයේදී මෙහෙයුම් සඳහා එක්කර තිබේ.
එමෙන්ම 2026 මැයි මාසයේ සිට CASCADIA සහ UGR සමාගම් විසින් හඳුන්වා දුන් නව රථවාහන ප්‍රවාහන සේවා හේතුවෙන් වරායේ ජාත්‍යන්තර නෞකා ප්‍රවාහන සම්බන්ධතා ජාලය තවදුරටත් පුළුල් වී ඇත.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය යටතේ මෙහෙයුම් ආරම්භ කළ අවධියේදී වාර්ෂිකව වාහන 100,000ක් පමණ මෙහෙයවා තිබේ. එතැන් සිට වරායේ රථවාහන මෙහෙයුම් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව පාලනාධිකාරිය පෙන්වා දෙයි.
ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව අතර සිදුවන ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහනයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට හම්බන්තොට වරාය තවදුරටත් පත්කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.



