ප්‍රධාන පුවත්

ගණකාධිකාරී සේවා සංගමය නොවැම්බර් 30 වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවෙයි

ගණකාධිකාරී සේවා සංගමය නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ගණකාධිකාරී සේවා සංගමය වෘත්තීය ගැටලු විසඳා ගැනීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලයි

සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට ඉදිරි සති දෙක ඇතුළත අවස්ථාව සලසා දීමට අමාත්‍යවරුන් දෙදෙනෙකු එකඟතාව පළ කිරීම මෙම තීරණයට හේතු වී ඇත.

ඒ අනුව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් එම සාකච්ඡාව සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට එකඟ වී තිබේ.

මේ හේතුවෙන් නොවැම්බර් 30 වැනිදා සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සංගමයේ සාමාජිකයන්ට හිමිවිය යුතු වෘත්තීය දීමනා, ප්‍රවාහන දීමනා ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇති ඉහළම පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ස්ථිරසාර හා සාධනීය විසඳුමක් ලබාගැනීම තම අරමුණ බවද එම සංගමය පෙන්වා දෙයි.

2027 අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි අතර ඇතිවී තිබෙන දීමනා විෂමතාව නිවැරදි කර ගැනීම මෙන්ම සාමාජිකයන්ගේ සාධාරණ වෘත්තීය හා ආර්ථික ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් රජයේ බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button