ප්‍රධාන පුවත්

පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය කරා ගමන් කරනවා – ජනපති

පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය කරා ගමන් කරන බවත්, පාලකයා දූෂිත නම් රට අරාජිකත්වයට පත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය වන බව ජනපති කියයි

අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් ගොඩනැගිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු බව බුද්ධ දේශනාව තුළින් අවබෝධ වන බව සඳහන් කළේය.

අද (28) මෙරටදී ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී බුද්ධ දේශනාවේ ඇතුළත් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රටේ පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව.

පාලකයා ධාර්මික වෙනවා නම්, පාලකයා ප්‍රතිපත්තිගරුක වෙනවා නම් රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. පාලකයා දූෂිත වෙනවා නම්, අධාර්මික වෙනවා නම් මුළු රටම අරාජික වෙනවා.

මේ කාරණය සකල විධ රාජ්‍යයන්ට අදාළයි. ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත් වෙන්නේ” යැයි පැවසීය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවය කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඒ සඳහා ලෝක බෞද්ධ සංඝ සම්මේලනය නියෝජනය කරන රටවල් 50ක නායක ස්වාමීන් වහන්සේලා, ගිහි ජනතාව ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටිති.

1966 වසරේදී ශ්‍රී ලංකාවෙන් ආරම්භ කරන ලද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මූලික අරමුණ වන්නේ ලෝක සාමය ස්ථාපිත කිරීමයි.

මෙම 60 වැනි සංවත්සරය වෙනුවෙන් නාගානන්ද අධ්‍යයන ආයතනය විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරිණි. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය නිල වශයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 11 වන මහ සභාවේ දෙවන විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට (29) සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button