
STF සැරයන්වරයෙකු හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට
STF සැරයන්වරයෙකු හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සැරයන්වරයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
STF සැරයන්වරයෙකු හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු හෙළිවෙයි
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර නිලධාරියා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
එම සැකකරුගේ ජංගම දුරකථනයේ ‘STF’ යන නමින් සුරැකී තිබූ දුරකථන අංකයක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේදී, අදාළ අංකය හිමි නිලධාරියා තමන්ට මුදලට හෙරොයින් ලබාදෙන පුද්ගලයා බවට ඔහු ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විමර්ශන නිලධාරීන් සැකකරු ලවා අදාළ නිලධාරියාට දුරකථන ඇමතුමක් ලබාදී, ලබාදුන් හෙරොයින් වෙනුවෙන් මුදල් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
එම දැනුම්දීමට අනුව මුදල් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සැකකාර STF සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර නිලධාරියා රාජකාරි වේලාවන් තුළදී පවා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි.
එසේම, විවිධ වැටලීම්වලදී සොයාගනු ලබන හෙරොයින් තොග ද මෙලෙස ජාවාරම් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ මෙන්ම කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂවරයා සහ ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා අද (29) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



