ප්‍රධාන පුවත්

නකල්ස් දැරිය සහ බිළිඳාගේ ආරක්ෂාවට රජයෙන් විශේෂ මැදිහත්වීමක්

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ ඇය සමඟ සිටි බිළිඳාගේ අනාගත යහපැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය මැදිහත්වීමට පියවර ගෙන තිබේ.

නකල්ස් දැරිය සහ බිළිඳා වෙනුවෙන් රජයේ මැදිහත්වීම අඛණ්ඩව

ඒ අනුව, අදාළ දැරියගේ සහ බිළිඳාගේ ඉදිරි ජීවිතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් හා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කර ඇත්තේ, වයස අවුරුදු 15ක පමණ දැරියක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු බිළිඳෙකු සමඟ සොයාගැනීමේ පුවත තමන් මවක ලෙස ද දැඩි කම්පනයට පත් කළ බවයි.

මෙවැනි සිදුවීම් හුදෙකලා සිදුවීම් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරිය, වර්තමානයේ පවතින ආර්ථික, සමාජීය සහ දේශපාලනික ගැටලු ඇතුළු විවිධ සංකීර්ණ තත්ත්වයන් හේතුවෙන් දරුවන් විවිධ ආකාරයෙන් අනාරක්ෂිතභාවයට පත්වන බව ද සඳහන් කරයි.

විශේෂයෙන්ම මව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු සමීප සබඳතාව සහ විවෘත සන්නිවේදනය දුර්වල වීම මෙවැනි තත්ත්වයන්ට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බව ඇය පෙන්වා දෙයි.

දරුවන්ට වඩාත්ම ආරක්ෂිත ස්ථානය විය යුතු තමන්ගේම පවුල් පරිසරය තුළ පවා ඔවුන් අනාරක්ෂිතභාවයට පත්වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව ද අමාත්‍යවරියගේ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, ඕනෑම තත්ත්වයක් යටතේ තම මව්පියන් සමඟ සිටින විට තමන් සුරක්ෂිත බවට විශ්වාසයක් දරුවන් තුළ ඇති කිරීම මව්පියන්ගේ වගකීමක් බව ඇය අවධාරණය කර තිබේ. පවුල තුළ ආරක්ෂිත පරිසරයක් සහ අදහස් හුවමාරු කරගත හැකි විවෘත සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් මෙවැනි කම්පනකාරී සිදුවීම් බොහෝ දුරට වළක්වාගත හැකි බව ද පෙන්වා දෙයි.

එමෙන්ම, අවදානමට ලක්වූ දරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් මැදිහත් වන රාජ්‍ය ආයතන ඇතුළු සියලු පාර්ශ්ව ජනතාවට සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසය තැබිය හැකි ආයතන බවට පත්වීමේ වැදගත්කම ද මෙම සිදුවීම මඟින් අවධාරණය වන බව අමාත්‍යවරිය සඳහන් කරයි.

මේ අතර, දරුවන් අනාරක්ෂිතභාවයට පත්වීම වැළැක්වීම සහ එවැනි දරුවන්ගේ රැකවරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් 2027 වසරේ සිට නව විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් බව අවධාරණය කරන ඇය, රටේ සියලු දරුවන් සම්බන්ධයෙන් වඩාත් සංවේදීව සහ වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button