ප්‍රධාන පුවත්

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන සමාගමේ නිලධාරීන්ට කැඳවීමක්

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (16) පෙරවරු 10.00ට අධිකාරිය හමුවේ පෙනී සිට මිල සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන් වේ.

පසුගිය නොවැම්බර් 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නැංවීමට සමාගම පියවර ගෙන තිබුණි.

එම මිල සංශෝධනය යටතේ මෙතෙක් රුපියල් 4,965ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 6,740ක් බවට පත්විය.

එසේම රුපියල් 1,988ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 732කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 2,720ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාමත්, නැව් ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු වැඩිවීමත් හේතුවෙන් මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව සමාගම පවසා ඇත.

එම පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය කිරීමට සිදුවූ බවද සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button